සල්ලාල අධ්‍යක්ෂවරුන්



සිනමා හා ටෙලි නාට්‍ය වැනි ක්‍ෂේත්‍රවල සමහර සල්ලාල අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් රූමත්, නවක නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම් ගැන කලා ක්‍ෂේත්‍රයේ විවිධ කටකතා තිබුණත් මතෛක් ඉතිහාසයේ කිසිදු නිළියක් මෙවැනි ලිංගික අල්ලස් ගැනීම් ගැන ‍පොලීසියකට පැමිණිලි කරන්නට ගියේ නැත. නමුත් නවක නිළියක වන ලක්ෂිකා ජයවර්ධන ඒ ඉතිහාසය දැන් වෙනස්කර හමාරය. ඒ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය ලබාදීමට අධ්‍යක්ෂවරයෙකු තමාගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට ඇය ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයටම ගොස් පැමිණිල්ලක් කර ඇති බැවිණි.

ඇය එම චෝදනාව කරන්නේ මෙරට සිටින ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙකුට එරෙහිවය. එම අධ්‍යක්ෂවරයාගේ බිරිඳ, පුතා සහ ‍ලේලියද කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය පුද්ගලයන්ය. ලක්ෂිකාට ප්‍රධාන චරිතය ලබාදෙන්නම් යැයි කියා ලිංගික අල්ලස් ඉල්ලුවේයැයි කියන ටෙලි නාට්‍යයේ ඒ අයද විවිධ චරිතවලට පණ ‍පොවති.

කලා ක්‍ෂේත්‍රයේ එකී අධ්‍යක්ෂවරයාගේ හිතවතුන් පවසන ආකාරයට අනුව නම් ලක්ෂිකා මේ කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවකි. මඩ ගැසීමට කරන රඟපෑමකි. මේ අතර තවත් කලාකරුවන් පිරිසක් පවසන්නේ එම අධ්‍යක්ෂවරයා ලිංගික අල්ලස් ඉල්ලා සිටි පළමු තැනැත්තිය ලක්ෂිකා පමණක් නොවන බවය. යම් චරිතයකට ඔහු නවක නිළියක් තොරා ගන්නේ නම් ඒ පිටුපස ලිංගික අල්ලස් ඇති බව ඒ අය කියන කතාවකි. ලක්ෂිකා ජයවර්ධනට මුහුණ දීමට සිදුවූ අයුරින්ම තමාටත් එම අධ්‍යක්ෂවරයාගෙන් කරදර සිදුවුණු බව නිෂානි ගමගේ නමැති රංගන ශිල්පිනියද මේ වන විට ප්‍රසිද්ධියේ පවසන්නීය. එහෙත් ඇය මතෛක් ඒ ගැන ‍පොලීසියකට පැමිණිල්ලක් කර නැත.

චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්නට අවස්ථාවක් උදාකර ගන්නට අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් පමණක් නොව ප්‍රවීණ යැයි සඳහන් නළුවන් සමග යහන්ගත වන්නියන් නැතුවාම නොවේ. එවන් ආධුනික නිළියන් රැසක්ම පසුගිය කාලයේ හමුවූයේ ගණිකා නිවාසවලිනි. එහිදී කලා ක්‍ෂේත්‍රයේ සිටින, තම සිරුර විකුණා මුදල් හම්බ කරන බොහෝ ප්‍රසිද්ධ නිළියන් ගැනද තොරතුරු ‍පොලීසියට අනාවරණය විය. ඒ බොහෝ දෙනෙකුද අධ්‍යක්ෂවරුන්ගේ මනදොල සපුරන්නට සිරුර කැප කර නිළිවරම් ලබාගත්තවුන් බව ගණිකා නිවාසවලින් හමුවුණු නිළියන් පවසා ඇති බව ‍පොලීසිය සඳහන් කර තිබිණි.
මේ තැබූ සටහන  ලක්ෂිකාගෙන් එකී අධ්‍යක්ෂකවරයා ලිංගික අල්ලස් ඉල්ලීමේ කතාව සනාථ කිරීමට පූර්විකාවක් සැපයීමක් නොව කලා ක්‍ෂේත්‍රයේ මෙවන් දේවල් ප්‍රසිද්ධ රහස් බව කියන්නටය.

ලක්ෂිකාගෙන් තමන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේද නැද්ද යන වග සැබෑ ලෙසම දන්නේ
අධ්‍යක්ෂවරයාත් ඇයත් පමණි. ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මේ වන විට ලක්ෂිකාගෙන් ලැබි ඇති පැමිණිල්ල විමර්ශනයට භාජනය කරමින් ඇත්තේ සැබෑව සොයා වැරදිකරුට දඬුවම් දීමටය. එතෙක් කවුරුන් නිවැරදිදැයි අපට කියන්නට බැරිය.

ලක්ෂිකා කර ඇති පැමිණිල්ලට අනුව එකී අධ්‍යක්ෂවරයාගෙන් ඇයට අදාළ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනාවක් ලැබි ඇත්තේ දෙදෙනා අතර ඇති හිතවත්කම නිසා නොව ඇගේ රුවින් සැරසුණු පුවත්පතක කවරයක් දැකීමෙනි. නාට්‍යයේ ශිල්පීන් තෝරා ගැනීමේ පරීක්ෂණයට බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශි ආයතනයට පැමිණෙන්නැයි ඒත් සමගම ආරාධනාවක්ද අධ්‍යක්ෂවරයාගෙන් ලැබි ඇත්තේය. එම ආරාධනාව භාරගත් ඇය නියමිත දින සුදර්ශියට පැමිණ එකී පරීක්ෂණයටද මුහුණ දුන්නාය.

“මගේ ෆොටෝ බැලුවා. මීට පෙර රඟපාල තියෙනවද ඇහුවා” ආදී විස්තර ඇය පවසන්නීය. ඇයට රඟපෑමට ඇති චරිතය ගැනද යම් වැටහීමක් එහිදී ලබාදුන් ඔහු දවස් දෙක තුනකින් දුරකථන ඇමතුමක් දෙන්නම් යැයි පැවැසූ බවද ඇය කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

“මේන් රෝල් එකට මේනකා පීරිස්වයි ගන්න හිටියේ. සියයට අනූ නවයක්ම ඔයා ගැන මම සැටිස්. ඒ නිසා මම ඔයාව තෝරා ගන්නව.” දින කිහිපයකට පසුව අධ්‍යක්ෂවරයා තමාට ඇමතුමක් දෙමින් පැවැසුවේ යැයි ඇය  තවදුරටත් සඳහන් කර ඇත. එහිදී ඔහු ඇයට යම් දිනයක් පවසමින් එදින ජනමාධ්‍ය අමාත්‍යංශයට පැමිණෙන ලෙසද දැනුම් දී ඇතැයි කියන්නේ තෝරාගත් චරිතය ගැන කතා බහ කරගන්නටය.

නියමිත දින ඇය කියූ වේලාවට ජනමාධ්‍ය අමාත්‍යංශයට ගොස් ඇත. ඇය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති ආකාරයට අනුව ජනමාධ්‍ය අමාත්‍යංශයේ රථ ගා‍ලේදී අධ්‍යක්ෂවරයා මෝටර් රථයක ඇයව නංවාගෙන නුගේගොඩ පැත්තේ ඇති යම් තැනකට කතා කරන්නට යමු යැයි කියා පිටත්වී ඇත. ඒ යන අතර දෙහිවල පැත්තේ ෆාමසියක් අසල මෝටර් රථය නතර කරන අධ්‍යක්ෂවරයා ෆාමසියට ගොස් පිටතට එන්නේ යමක් කලිසම් සාක්කුවේ දමාගෙනය. ඇය විශ්වාස කරන්නේ එය උපත් පාලන කොපු පැකට්ටුවක් විය හැකි බවය. ඒ එන විට ඔහු චොකලට් පැකට්ටුවක්ද රැගෙන විත් ඇත. එම චොකලට්ටුව තමා අතට දුන්නද එය ප්‍රතික්‍ෂේප කළ බව ඇය පවසා තිබේ.

නුගේගොඩ යනවා යැයි කීවාට තමාව රැගෙන ගියේ යැයි කියන්නේ ගල්කිස්සේ පිහිටි හෝටලයකටය. එහිදී අධ්‍යක්ෂවරයා තමාට කාමරයකට යන්නට ආරාධනා කළ බවත් එහිදී ඒ ආරාධනාව ප්‍රතික්‍ෂේප කළ බවත් ඇය ළමා හා කාන්තා කාර්යාංශයට පවසා තිබේ.
“රෙස්ට් කරන්න. වෙන දේකට නොවෙයි.” ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසු අධ්‍යක්ෂවරයා එසේ සඳහන් කළ බවද ඇය පවසන්නීය.

තමාව රූගත කිරීම්වලට රන්මිණිතැන්න ටෙලි ගම්මානයටද රැගෙන ගොස් කාමරයට නොගිය වරදට අර දෙනවා යැයි කියූ ප්‍රධාන චරිතය නොදී එම ටෙලි නාට්‍යයේ රඟපෑම්වලින් ඉවත්කරන්නට කටයුතු කළ බව ඇය වැඩිදුරටත් තම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

ඇය ඒ කිසිදු තැනක බලහත්කාරයෙන් ඇයව හෝටලයට ගෙන ගිය බවක් කියා නැත. අතින්වත් අල්ලා නැත. අඩුම තරමින් නරක විදිහට බැලූ බවක් වත් කියන්නේ නැත. හෝටල් කාමරයට යාම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු ඇයට බලපෑමක් අධ්‍යක්ෂවරයාගෙන් වූ බවක්වත් ඇය සිය පැමිණිල්ලෙහි දක්වා නැත.
ඒ අනුව කොතරම් දුරකට එම අධ්‍යක්ෂවරයාට එරෙහිව ලිංගික අඩන්තේට්ටම් හෝ ලිංගික අල්ලස් චෝදනාවක් එල්ල කිරීමට හැකියාවක් තිබේදැයි ඇත්තේ ගැටලුවකි. ‍පොලිස් ළමා කාන්තා කාර්යාංශයද ඒ ගැටලුවේ හිරවී සිටියි.

රජයේ නිලධාරියෙකු මේ කියන ලිංගික අල්ලස ඉල්ලා සිටියේනම් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ
දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිල්ලක් කර නිසි විභාගයක් කරන්නට නීතිමය ප්‍රතිපාදන ඕනෑ තරම්ය. එහෙත් මෙය හුදෙක් පෞද්ගලික කාරණාවකි. මෙවන් අවස්ථාවල ක්‍රියාත්මක වීමට නීතිය කොතරම් ප්‍රමාණවත්දැයි පෙනෙන්නේ මෙවන් පැමිණිල්ලක් ආ විටදීය.

මේ ගැන අදාළ අධ්‍යක්ෂවරයාගෙන්ද ප්‍රශ්න කරන්නට ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අමතක කර නැත. ලක්ෂිකා ඔහුට එල්ලකරන ඒ සෑම චෝදනාවක්ම එහිදී ප්‍රතික්‍ෂේප කර ඇත්තේ ඇයව අදාළ නාට්‍යයේ චරිතයට නොගැළපුණු හේතුවෙන් ඉවත් කරන්නට සිදුවූ බව පවසමිනි. ඒ නිසා ඇය මෙසේ තමන්ට එරෙහිව අභූත චෝදනා එල්ලකරන බව ඔහුගේ අදහසය.

0 comments:

Post a Comment