ඇයව රවටා අසල හෝටලයකට රැගෙන ගොස් දූෂණය කරයි

පසුගිය සතියේ බොලිවුඩය කැළඹවූ පුවතක් වූයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නිවසේ සේවය කළ රියැදුරෙකු විසින් හිටපු ජනප්‍රිය නිළියක වන සංගීතා බිජ්ලානිගේ නිවසේ මෙහෙකාරිය දූෂණය කිරීමේ සිදුවීමයි. මේ සම්බන්ධ විවිධ වාර්තා පළවුණත් ඒ බොහොමයක නිවැරදි ලෙසම සිදුවීම වාර්තා වී තිබුණේ නැහැ.

මේ සිදුවීමට සම්බන්ධ මෙහෙකාරිය සංගීතාගේ නිවසේ මෙහෙකාරිය ලෙස හැඳින්වුවත් ඇත්ත වශයෙන්ම මේ සිදුවීම වන විට ඇයව සංගීතා රැකියාවෙන් ඉවත්කොට තිබුණා. මේ වනවිට මෙහෙකාරිය සංගීතාගේ නිවසේ සේවයකොට තිබුණේ මාස හයක් පමණයි. යන එන ගමන්වලදී ෂාරුක්ගේ නිවසේ සේවය කළ තිස්පස් හැවිරිදි රියැදුරාව දහහත් හැවිරිදි මේ යුවතියට දැන හඳුනාගන්නට ලැබි ඇති අතර ඇයට ෂාරුක්ගේ නිවසේ හෝ වෙනත් සුපිරි බොලිවුඩ් තරුවකගේ නිවසක සේවය කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව රියැදුරා පවසා තිබෙනවා. ඔහු ඇගේ දුරකථන අංකයද ඉල්ලාගෙන ඇති අතර මේ කතා විශ්වාස කළ ලාබාල මෙහෙකාරිය තම නිවසේ සේවයෙන් ඉවත්වන්නට සූදානම් වන බව වැටහුණු සංගීතා වහාම පඩිනඩි බේරා ඇයව සේවයෙන් ඉවත්කොට තිබෙනවා. මෙහෙකාරිය දුරකථන ඇමතුමක් දී ෂාරුක්ගේ රියැදුරා හමුවන්නට ගොස් ඇත්තේ ඔහු තමාට දුන් ‍පොරොන්දුව ඉටුකරනු ඇතැයි යන විශ්වාසයෙන්. නමුත් ඔහු ඇයව රවටා අසල හෝටලයකට රැගෙන ගොස් දූෂණය කොට තිබෙනවා.


මේ සිදුවීමෙන් කම්පනයට පත් මෙහෙකාරිය ‍පොලීසියට ගොස් සියල්ල විස්තරකොට ඇති අතර ඇයව රෝහල්ගතකොට රියැදුරා අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය කටයුතු කළා. ෂාරුක්ගේ නිවසේ සේවය කළ බව කියන මේ රියැදුරාව ඔවුන්ගේ පුද්ගලික කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ එක්වරක් පමණක් බවත් අනෙක් සියලුම අවස්ථාවන්හිදී ඔහු ෂාරුක් සතු වාහන කිහිපයෙන් එකක වෘත්තීමය කටයුතු සඳහා පමණක් යොදාගෙන ඇති බවත් කියැවෙනවා. පුද්ගලික කටයුත්තක් සඳහා ඔහුව යොදවාගත්තේ එකම වරක් තම දරුවන්ව පාසලට යැවීමට බවයි ඛාන් යුවළ කියන්නේ. රාජේන්ද්‍ර ගෞතම් නම් මේ රියැදුරා පින්ටු මිෂ්රා ලෙසද හැඳින්වුණත් එසේ නම් දෙකකින් හැඳින්වෙන්නේ ඇයිදැයි පැහැදිලි නැහැ.

මේ සම්බන්ධයෙන් කතාකිරීමෙන් ෂාරුක් මෙන්ම බිරියද වැළකී සිටින අතර මාධ්‍යද ඔවුන් මුණගැසෙන හැම විටෙකම දැන් උත්සාහ කරන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. පසුගියදා ෂාරුක්ගේ බිරිය ගෞරී තම ඥාති සොයුරියක ආරම්භ කළ අවන්හලක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ පවා එතැනට ආ මාධ්‍ය උත්සාහ කර තිබුණේ ඇගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමටයි. ඒ අවස්ථාවේ මෙහිදී පුද්ගලික ප්‍රශ්නවලට තමා පිළිතුරු නොදෙන බව ගෞරී පවසා තිබුණා. ඉහත මෙහෙකාරිය දුරබැහැර ප්‍රදේශයක ඉතා දුප්පත් පවුලක දැරියක්. ඒ පවු‍ලේ සියල්ලන්ගේම ආදායම වී තිබුණේත් මෙහෙකාරියක ලෙස ඇය උපයන මුදලයි. මේ බව මෙන්ම ඇය සේවය කළ නිවසේ හිමිකාරිය සංගීතා බිජ්ලානි වීමත් මේ සිදුවීමට ලොකු ප්‍රචාරයක් ලබාදුන්නා.

සංගීතා බිජ්ලානි සුපිරි නළු මෙන්ම ෂාරුක් සමග නිරතුරු සීතල යුද්ධයක යෙදී සිටින සල්මාන් ඛාන්ගේ    පළමු පෙම්වතියයි. සිනමාවට ආ යොවුන් වියේදී සංගීතා සමග පෙම් සබඳතාවයක් ඇතිකරගත් සල්මාන්ගේ එම සම්බන්ධය පසුව බිඳීගියා. පසුව ඇය මුල් විවාහයෙන් වෙන්වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසාරුදීන් සමග විවාහ වුණා. අසාරුදීන්ට මුල් විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටියත් මේ විවාහයේ දරුවන් නැහැ.එම මුල් විවාහයේ පුතෙකු මීට ටික කලකට පෙර රිය අනතුරකින් මියගිය අතර එම සිදුවීමෙන් ටික කලකට පසු අසාරුදීන් හා සංගීතා අතර විවාහය දෙදරන්නට වුණා.

මෙහෙකාරිය සම්බන්ධ සිදුවීමේදී සංගීතා අසාරුදීන්ගේ බිරිය ලෙස ඇතැම් තැන්වල සඳහන් වුණත් තවදුරටත් ඇය ඔහුගේ බිරිය නමෛයි. දැන් ඔවුන් දෙදෙනා දික්කසාද වෙලා. කොහොම වුණත් සල්මාන් සමග සංගීතාගේ හිතවත්කම ප්‍රේමය නතරවී අසාරුදීන් සමග විවාහවූ පසුවත් දිගටම පැවතුණා. සල්මාන්ගේ පවු‍ලේ අයත් තවමත් ඇයව දැඩි ලෙස ප්‍රිය කරනවා. 1980 වසරේ ඉන්දියානු රූ රැජින ලෙස තේරුණේත් සංගීතායි.

0 comments:

Post a Comment