තරුණයාගේ කතාබස්වලට ඇදී ගියේ කාන්දමක් මෙනි

අපි ඇය චමරි යනුවෙන් හඳුන්වමු. ගාල්ලේ පදිංචිකාරියක වන ඇය පුහුණුව ලබමින් සිටි පවුල් සෞඛ්‍ය සේවිකාවකි. විසි අට හැවිරිදි වියේ වූ චමරිගේ දුරකතනයට දිනක් දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ මොහොතේ ඇය සිටියේ පවුල් සෞඛ්‍ය පුහුණු පාස‍ලේ ඉගෙනුම ලබමිනි. දුරකතන ඇමතුම නොගත් බැවින් එය චමරිගේ දුරකථනයේ සටහන් වූයේ ‘මිස්ඩ්කෝල්’ එකක් ලෙසය. පසුව චමරි මගහැරුණු ඇමතුම් අංකයට ඇමතුමක් ගත්තාය. දුරකතනයේ එහා කෙළවරේ සිටියේ පිරිමි අයෙකුය. තමා නීතිඥවරයෙකු ලෙස හඳුන්වා දුන් එම තරුණයා වචන කිහිපයකින් සංග්‍රහ කර දුරකථන සංවාදය අවසන් කළේය. චමරි ඒ පිළිබඳ එතරම් ගණන් ගත්තේ නැත. දින කිහිපයක් ගෙවී ගියේය. යළිත් වරක් ‘මිස්ඩ් කෝල්’ එකෙන් හඳුනා ගත් තරුණයා චමරිට දුරකතන ඇමතුමක් දී සැප දුක් විමසුවේය. චමරි ද ඊට පිළිතුරු දුන්නේ නොපැකිලිවය. එතැන් සිට එම තරුණයා දිගටම චමරිට දුරකතන ඇමතුම් දුන්නේය. හිතවතුන් ලෙස දෙදෙනා අතර හුවමාරු වූ දුරකථන ඇමතුම් ආදරයට හැරීමට වැඩි දවසක් ගියේ නැත. චමරි නීතිඥයකු ලෙස හඳුනාගත් තරුණයාගේ කතාබස්වලට ඇදී ගියේ කාන්දමක් මෙනි.

කෙසේ නමුදු ඒ වන විට චමරිට තවත් ආදර සබඳතාවක් තිබුණේය. පාසල් යන කාලයේ සිට පැවති එම ප්‍රේම සබඳතාවට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ලැබි තිබුණි. චමරිගේ එම පෙම්වතා සිටියේ විදේශගතවය. විදේශගතව සිටින ඔහු චමරි හා දුරකථනයෙන් හා ස්කයිප් තාක්ෂණයෙන් නිරන්තර සම්බන්ධවෙමින් ඔවුනොවුන්ගේ සම්බන්ධතා පවත්වා ගෙන ගියේය. ඔහු විදේශගතව තිබුණේ කීයක් හෝ වැඩි මුදලක් එකතු කරගෙන චමරි හා විවාහ දිවියක් ඇරඹීමේ බලා‍පොරොත්තුවෙනි. එනමුත් නීතිඥවරයාගේ ආදරයෙන් කුල්මත්වී හුන් චමරිගේ හිතේ සංජීව කෙරෙහි තිබූ ආදරය ඇයටත් හොරා පලා යාමට වැඩි දවසක් ගතවුණේ නැත. සංජීවට වෙන්වී තිබූ චමරිගේ හිත අලුතෙන් අයිතිකර ගත් ඔහුට අපි මාලක යනුවෙන් කියමු. මාලක සිය පෞද්ගලික තොරතුරු චමරිට කීමට අමතක නොකළේය. තමා කොට්ටාවේ පදිංචි වී සිටින බවත් තමා රැකියාව කරන්නේ අලුත්කඩේ උසාවියේ බවත් ඔහු පවසා තිබුණි.

මාලක හා චමරිගේ ආදර අන්දරය මේ අයුරින් ඇදී යද්දී නිදහසේ පෙම් සුව විඳින්න චමරි කූඩුවෙන් එළියට පියඹා යන්නට තීරණය කළාය. මාලක කතාකරන තැන්වලට චමරි ගියාය. මාලක ගාලු ආවේය. චමරි කොළඹ ගියාය. චිත්‍රපට ශාලා, මුහුදු වෙරළෙන් පටන් ගත් ඒ ගමන් හෝටල් කාමර දක්වා දුරදිග ගියේය. ඒ ගමන්වලදී බිල ගෙවා දැමුවේ මාලක නොව චමරිය.  ඒ ඇයට යහමින් මුදල් තිබූ බැවිනි. ඇය මාලක වෙනුවෙන් වැය කළ සෑම සතයක්ම ඔහුට එවා තිබුණේ විදේශගතව සිටි ඇගේ පෙම්වතාය.

මාලකගේ ඕනෑ එපාකම්වලටද මුදල් දුන් චමරි තම පුහුණු කාලය තුළ ලැබෙන පඩිය පවා මාලක වෙනුවෙන් වැයකරන්නේ මේ ආදරය විවාහයෙන් කෙළවර වේයැයි සිතූ නිසා විය හැකිය. චමරි එසේ කල්පනා කරන්නට ඇත්තේ අලුත් පෙම්වතා නීතිඥවරයෙකු නිසා වෙන්නැතිය. ටික දොහක් යනවිට චමරිම සංජීව අමතක කරන්නට පටන් ගත්තාය. ඇය සංජීව සමග ස්කයිප් තාක්ෂණයෙන් කතා කළේ ඇපෙන් බේරෙන්නටය.

මේ අතර දිනක් මාලක චමරිට හදිසියේ දුරකථන ඇමතුමක් දුන්නේය. ඔහුගේ කටහඩ් ශෝකය මුසු වී තිබුණි. “චමරි අම්මාට කැන්සර් එකක් හැදිලා ඔපරේෂන් එකට ලක්ෂ පහළොවක් වියදම් වෙනවා. ලක්ෂ අටක් සොයාගත්ත. තව ලක්ෂ හතක් ඕනේ.” ඔහු කීවේය. චමරිද මේ ගැන කල්පනා කළේ තම පෙම්වතාට උදව්වක් කිරීමේ අටියෙනි. ඇය මේ පිළිබඳව තම මව සමගද කීවාය. ඒ අනුව චමරි තමා ඉතිරි කර ගත් මුදල් හා තම පෙම්වතා වූ සංජීව එවූ මුදල් එකතු කර ලක්ෂ හතක් ඔහුට දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. බැංකුවට ගිය ඇය මාලක කී ගිණුමට එම මුදල බැර කළේය. මවගේ රෝගී තත්ත්වය ගැන චමරි ඇසූ විට මාලක ඊට පිළිතුරු දුන්නේ කිසිදු වෙනසක් නොමැතිවය. මේ අතර මාලක ගැන චමරිට අදහාගත නොහැකි කතාවක් දැනගන්නට ලැබුණි. ඒ මාලක විවාහකයකු බවත් ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බවත්ය.

මේ ආරංචිය කන වැකුණු චමරිට මුලින්ම සිහියට ආවේ තමා මාලකට දුන් රුපියල් ලක්ෂ හත ගැනය. කෙසේ නමුදු කලබල නොවූ චමරි ඥානවන්තියක් ලෙස කටයුතු කිරීමට සිතා ගත්තාය. ඒ අනුව ඇය මාලකට වෙනදා මෙන් කතා කළාය. ඒ අතරේ ඇය මාලක විවාහකයකු බව තමා දන්නා බව හැඟවූවාය. මාලකද තමා විවාහකයකු බව පිළිගත්තේය. චාටු බස් දොඩමින් මාලක කීවේ තමා විවාහකයකු වුවත් චමරිට ආදරය කරන බවය. නමුත් චමරිගේ හිතේ වැඩ කළේ තමා දුන් මුදලය. එය ඔහුගෙන් නැවත ලබාගැනීමට උපක්‍රමයක් ඈ කල්පනා කළාය. ඒ අනුව ඇය තමන් දුන් මුදල මාලකගෙන් ඉල්ලා සිටියේ වෙනදා මෙන් ඔහුට ආදර බර වදනින් සංග්‍රහ කරමිනි. ඒ අවස්ථාවේදී මාලක කීවේ මුදල නැවත චමරිට දෙන බවය.

ඒ අනුව කතාබහ කරගත් පරිදි චමරි ගාලු බස් නැවතුම්‍පොළට වී සිටියේ මාලක කොට්ටාවේ සිට අධිවේගී මාර්ගයෙන් පැමිණෙන තුරුය. වේලාව පෙ.ව. 10 පසුවී තිබුණි. මාලක කතා කරගත් පරිදි නියමිත වේලාවට විනාඩි දහයක් පමාවී පැමිණියේය. ඉක්බිති මාලක සුපුරුදු පරිදි චමරිට කතා කළේ හෝටල් කාමරයකට යාමටය. එහිදී චමරිට මුදල් දෙන බව මාලක කීවේය. මාලක සමග හෝටල් කාමරයට යාමට චමරි නොපැකිළුණේ ඇයට නැතිවෙන්නට දෙයක් ඉතිරිවී නොතිබුණු බැවිනි. මේ නිසා ඇය කල්පනා කළේ හෝටල් කාමරයට ගොස් කෙසේ හෝ මුදල ගැනීමටය. එනමුත් වෙනදා මෙන් නොව හෝටල් කාමරයේදී මාලකගේ හැසිරීම අමුතු වී තිබුණි.

මාලක චමරිව නිරුවත් කරමින් ඔවුනොවුන් හැසිරෙන අයුරුත් චමරි පමණක් නිරුවතින් සිටින අයුරුත් වීඩියෝ කළේ චමරිගේ අකමැත්ත නොතකාය. ඒ අතරේ මාලක චමරිට පැවසුවේ තමා ගත් රුපියල් ලක්ෂ හත රුපියල් ලක්ෂය බැගින් දීමට තමා සූදානම් බවත්ය. ඒ සඳහා කිසියම් කාලයක් අවශ්‍ය බවත් ඔහු කීවේය.

මේ අතර චමරි හෝටල් කාමරයේ සිටියදී ඇයට ඇගේ මවගෙන් දුරකථන ඇමතුමක් ආවේය. ඒ සමගම චමරිගේ හිත වෙනස්විය. “අම්මේ මාලක මාව හිරකර ගෙන ඉන්නේ ගාල්ලේ හෝටලයේ” ඇය හඬමින් කීවාය. සිය දියණිය කී කතාවෙන් බියට පත්වූ මව ‍පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට අමතා තම දියණිය හෝටලයක රඳවාගෙන සිටින බවට පැමිණිලි කළාය.

මේ අනුව වහා ක්‍රියාත්මක වූ ගාල්ල ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් හෝටලයට ගොස් සැකකාර හොර නීතිඥ පෙම්වතා අත්අඩංගුවට ගත්හ. අධිකරණයට ඉදිරිපත් කළ ඔහු මේ වන විටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. මේ හොර නීතිඥයා දහය ශ්‍රේණියට වත් පාසල් නොගිය අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

නාඳුනන මිනිසුන්, තාන්න මාන්න වෙනුවෙන් තම කුළුඳුල් ප්‍රේමයද දෙවැනි තැනට තබා කටයුතු කළ චමරි අද සියල්ල අහිමිකරගෙන ජීවිතයද අඳුරු කරගත්තේ නොහික්මුණු ආශාවන් පසුපස හඹායාම හේතුවෙනි. අහිංසක ජීවිත සමග සෙල්ලම් කළ දෙදරු පියාටද තම පවුල් දිවිය අහිමිකරගනිමින් මහඋළුගෙදර ලගින්නට සිදුවූයේ තමන්ට නොගැළපෙන දේ සිදුකිරීම හේතුවෙනි. මේ සිද්ධිය රටට කියාදෙන පාඩම එයයි.

0 comments:

Post a Comment